විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකුගේ ණය මුදලක් පියවීමට උදව් කරන බව පවසා රුපියල් 129,600 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පණ්ඩුලගම යුද හමුදා කඳවුරේ සේවය කළ පුද්ගලයෙකි. මොහු පසුගිය අප්‍රේල් 30 වැනිදා පෙරවරු 10.30 ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.
පැමිණිලිකාර විශ්‍රාමික නිලධාරියා ලබාගෙන තිබූ විශ්‍රාම ණය මුදල පියවීමට රුපියල් ලක්ෂ විසිපහක ආධාර මුදලක් ලබාදෙන බව පවසා සැකකරු මෙම වංචාව සිදුකර ඇත. ඒ සඳහා පූර්ව ගාස්තු වශයෙන් අවස්ථා තුනකදී රුපියල් 129,600 ක මුදලක් බැංකු ගිණුමකට බැර කරවාගෙන තිබේ. අනතුරුව ලේඛන ගාස්තු ලෙස තවත් රුපියල් 13,457 ක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මැයි මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.














