පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් බිත්තියකට යට වී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.
අද (04) අලුයම අරලගංවිල, රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට වන අලියෙකු ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරයෙන් නිවසේ බිත්තියක් කඩා වැටී ඒ අසල නිදා සිටි 5 හැවිරිදි ආර්.ඩී.සෙනිලි දිනෙත්මා යන පෙර පාසල් දැරිය එම බිත්තියට යට වී තිබේ. දැරියගේ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇය මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
වන අලියාගේ ශබ්දය ඇසීමත් සමඟ දැරිය සමඟ නිදා සිටි මව විදුලි ලාම්පුව දැල්වීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී වන අලියා බිත්තිය පෙරළා දමා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.














