ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩුවීමත් සමඟ, ඉහළ ගොස් තිබූ ප්‍රධාන ගංගා ද්‍රොණි කිහිපයක ජල මට්ටම්වල පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, අධික වර්ෂාව හේතුවෙන් මීට පෙර අවදානම් මට්ටමක පැවති නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය යන ගංගා ද්‍රොණිවල ජල මට්ටම් මේ වන විට ක්‍රමයෙන් පහළ බසිමින් පවතින බවයි.
මහ ගංවතුර තත්ත්වයක් ඇති වේ යැයි බියෙන් පසු වූ ජනතාවට මෙම තත්ත්වය විශාල සහනයක් වන අතර, වර්ෂාව තවදුරටත් අවම වුවහොත් ඉදිරි පැය කිහිපය තුළ ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජලය බැසයාම තවදුරටත් වේගවත් වනු ඇත. කෙසේ වුවද, පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.














