විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (20) සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම වෙළෙඳ, ආයෝජන සහ විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණු වේ.
සංචාරය අතරතුර දෙරට අතර හයවැනි වටයේ ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීමට නියමිත අතර, පවතින සහයෝගීතාව සමාලෝචනය කර නව සහයෝගීතා ක්ෂේත්‍ර හඳුනා ගැනීමටද අපේක්ෂා කෙරේ. එසේම ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ශ්‍රම සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමටද නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.
එහිදී ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම, ආරක්ෂිත හා විනිවිදභාවයෙන් යුත් බඳවා ගැනීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සහ රුමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය තහවුරු කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
බුකාරෙස්ට්, ටිමිෂෝආරා සහ අරාඩ් යන නගරවලදී රුමේනියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාර්ලිමේන්තු නියෝජිතයන් සහ ව්‍යාපාරික මණ්ඩල සමඟ සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබේ. එමඟින් දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආයතනික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, රුමේනියාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී ඔවුන්ගේ ගැටලු හඳුනා ගැනීමටත්, සුබසාධන කටයුතු සහ කොන්සියුලර් සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටත් නියමිතය.
මෙම සංචාරය තුළින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳ, ආයෝජන සහ රැකියා ක්ෂේත්රවල නව අවස්ථා උදාකර ගැනීමට අපේක්ෂා කෙරේ.
















