27 April 2024
#දේශීය

හිටපු විශ්වවිද්‍යාල උපකුලපතිවරයාට පහරදීම දැඩි ලෙස හෙළා දකිනවා – රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත්

විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්හට පහරදීමේ සිදුවීම් දෙස බලන විට රට නැවතත් එදා පැවති භීෂණකාරි යුගයක් කරා ගමන්කරනවාද යන්න පිළිබඳව විශාල සැකයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා, “දිනපතා පුවත්පත් දෙස බැලුවාම අපට බොහෝමයක් අසන්න, දකින්න ලැබෙන්නේ විවිධ අපරාධ වැනි සමාජ දූෂිත ක්‍රියාකාරකම්. මෙවන් තත්ත්වයකට පත්වුණේ ඇයිද යන්න පිළිබඳව දේශපාලනය කරන අපි වැඩියෙන් අවධානය යොමුකළ යුතුයි. රට පාලනය කරපූ අපේ නායකයෝ සංවේදීව මහජනතා ප්‍රශ්න විසඳීමට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කර තිබෙනවා. නමුත් වර්තමානයේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කරන ප්‍රකාශ දෙස බැලුවාම ඒවා ප්‍රකෝපකාරී ප්‍රකාශයි. මේ මොහොතේ රටට අවශ්‍ය එවැනි ප්‍රකාශ නොව ජනතා සිත් සතන් සනසන ප්‍රකාශයන්. මම විශ්වාස කරන්නේ මෙවැනි ප්‍රකාශ ජනතාව ප්‍රකෝපවීමට බලපානවා ඇතැයි කියලා.
විශ්වවිද්‍යාල තුළත් අද දක්නට තිබෙන්නේ දේශපාලන මානසිකත්වයක්. මේ මානසිකත්වය වෙනස්කර විනය ගරුක පරපුරක් බිහිකීරීමේ වගකීම අපිට තිබෙනවා. ලොව දියුණු රටවල විනයගරුක බව ඉතා ඉහළින් තිබෙනවා. අපි රටට ආදරය කරන පුරවැසියන් බිහි කළ යුතුයි. භෞතික සංවර්ධනය කෙතරම් සිදු වුණත් එකිනෙකා වෛර කරගන්නා සමාජයක් නම් ඉන් ඵලක් නෑ. මේ විපරිත වූ සමාජය හරි තැනකට ගේන්න රජය විවිධ අනපනත් ගෙන එමින් තිබෙනවා. එදා අපේ රටේ තරුණයින්ට පාරේ බැහැලා යන්න බැරි යුගයක් තිබුණා. නැවතත් එවැනි තැනකට ගමන් කරන්නේදැයි යන්න අපට බියක් තිබෙනවා. 1995 , 2000 ඉපදුණු දරුවන් අද වන විට තරුණයින් බවට පත්වෙලා. ඒ තරුණයින් එදා තිබුණු ම්ලේච්ඡත්වයට දැකලා නෑ. එමෙන්ම එල්ටිටිඊ ම්ලේච්ඡත්වය නිසා ලාංකීය ජන සමාජය බියට පත්ව සිටියා. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු ඒ බියසැක දුරුකර ජනතාවට නිදහසේ ජිවත්වීමේ අයිතිය තහවුරු කර දුන්නා. අධ්‍යාපනයේ උත්තරීතර ආයතනය වන විශ්වවිද්‍යාලය තුළ අද සිදුවන්නේ කුමක්ද? ආචාර්ය, මහාචාර්යවරුන්ට පහර දෙනවා. පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධිය අපි තරයේ හෙළා දකිනවා. මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා වැනි උගතුන් ඝාතනය කළ යුගයක් තිබුණා. අද සිදුවන මේ දේවල් දෙස බලන විට එවැනි තැනකට නැවත ගමන් කරනවාද යන්න අපට සැකයක් තිබෙනවා. මේ දරුවන් තුළ විකෘති මානසිකත්වයක් නිර්මාණය කරන්නේ කවුද යන්න සොයා බලා අවශ්‍ය පියවර ගෙන විනයගරුක සමාජයක් ඇති කිරීම පාලකයින් වගේම අප හැමගේම වගකීමයි. ” යැයි රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *