27 April 2024
#දේශීය

දෙවසරක් යනතුරු වරිපනම් බදු වැඩිවෙන්නේ නෑ – ජනකගේ යෝජනාවට කැබිනට් අනුමැතිය “

පළාත් පාලන ආයතන මගින් අයකරන වරිපනම් බදු වසර දෙකක් යන තුරු ඉහළ නොදැමීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
 
සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන මගින් වසර 5න් 5ට වරිපනම් බදු තක්සේරුව ඉහළ නංවන බවත් මේ වන විට වසර 10කින් එය ඉහළ නංවා නොමැති නිසා මෙවර කිහිප ගුණයකින් බදු ඉහළනංවන්නට එම ආයතන සැලසුම් කර තිබුණු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
 
නමුත් කොවිඞ් වසංගතය තත්ත්වය යටතේ එසේ බදු ඉහළ දැමීමෙන් කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට මෙන්ම මහජනතාවට වන පීඩාව වැළැක්වීමේ අරමුණින් වරිපනම් බදු ඉහළනැංවීය වසර දෙකක් යන තෙක් අත්හිටුවීමට රජය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
 
පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.
 
ඒ අනුව පළාත් පාලන ආයතන විසින් නව තක්සේරු මත සිදුකරන බදු වැඩිකිරීම වසර දෙකකට නවතා දැමීමට අවශ්‍ය විධිවිධාන සැකසීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා දී ඇතැයිද ඇමතිවරයා කීවේය.
 
මීට අමතරව එදිරිසිංහ සමූහ ව්‍යාපාරය ඇතුළු මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර තැන්පත් මුදලත්, පොළියත් නොලැබීමෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහනයක දිය හැකිද යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වෙන බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
 
  මේ වන විට මෙම තැන්පත්කරුවන් අදාළ ආයතන සමඟ අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ගොස් ඇති නිසා අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වන තෙක් කිසිඳු සහනයක් දීමට නොහැකි බව මහ බැංකුව අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇතත් ජනතාවට කුමන හෝ සහනයක්දීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බව ද හෙතෙම කීවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *