අස්වැසුම සහනාධාරය ලබන පුරවැසියන් සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන, ඔවුන්ව සවිබල ගන්වා රටේ ආර්ථිකයට දායක කරවීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යභාරය වී ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, සමෘද්ධි දෙපාර්තමේන්තුව වසා දැමීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් කර නොමැති අතර දිළිඳුකම පිටුදැකීමේදී එය අත්‍යවශ්‍ය ආයතනයක් බව ජනාධිපතිවරයා ද පෙන්වා දී ඇති බවයි.
මේ වසරේදී පවුල් ලක්ෂ දෙකක් දුප්පත්කමෙන් මුදාගැනීමේ ඉලක්කයක් පවතින අතර, ඒ වෙනුවෙන් ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා “ජාතික සවිබල මාසය” ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙළ යටතේ අස්වැසුමලාභී පවුල්වල සාමාජිකයන්ට වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තු ගෙවීම, ජපානයේ රැකියා සඳහා 2%ක අඩු පොලී ණය ලබාදීම සහ ආරක්ෂිත නිවසක් නොමැති පවුල් සඳහා රුපියල් මිලියනයක සහනාධාරයක් යටතේ නිවාස 1,100ක් ඉදිකිරීම ඇතුළු විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට නියමිතය. සහනාධාර මඟින් පමණක් දුප්පත්කම තුරන් කළ නොහැකි බැවින්, වසර 5ක් ඇතුළත අස්වැසුමලාභීන් ලක්ෂ 12ක් ස්වයංව නැඟී සිටින තත්ත්වයට පත්කිරීම දෙපාර්තමේන්තුවේ දිගුකාලීන අරමුණ බව ද මෙහිදී අනාවරණය කෙරිණි.
















