අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වත්මන් නිර්ණායකවල පවතින අඩුපාඩු නිරාකරණය කරමින්, සමාජ-ආර්ථික අවදානම් තත්ත්වයන් පදනම් කරගත් නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා වන නියමු අධ්‍යයනයක් (Pilot Study) ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, පවුලේ රැකියා හා ජීවනෝපාය සුරක්ෂිතභාවය, පවුල් සංයුතිය, වයස්ගතභාවය, ආබාධිතභාවය, දිගුකාලීන රෝගී තත්ත්වයන්, නිවාස සහ මූලික සේවා ප්‍රවේශය සහ ණය බර වැනි සාධක සැලකිල්ලට ගනිමින් සකස් කළ යෝජිත නව ක්‍රමවේදය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.














