හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව පවතින අයථා වත්කම් නඩුවක සඳහන් බැංකු ගිණුමකට තමාගේ නම සම්බන්ධ කරමින් ප්‍රධාන හා සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ඒවා බව ප්‍රවීණ නිළි රිතු ආකර්ෂා පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මර්වින් සිල්වාට එරෙහිව ගොනු කර ඇති නඩුවකදී, 2010 මාර්තු 31 සහ 2012 මාර්තු 31 අතර කාලය තුළ රුපියල් මිලියන 600 කට අධික අයථා වත්කම් සතු කරගෙන ඇති බවට චෝදනා කර ඇති අතර, ඩී.එෆ්ַ.සී.සී. (DFCC) බැංකු ගිණුමකට බැර වූ අරමුදල් සම්බන්ධයෙන් අධිකරණයේදී “රිතු ආකර්ෂා” යන නම සඳහන් වී ඇතැයි වාර්තා විය.
කෙසේ වෙතත්, මෙම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කර ඇති රිතු ආකර්ෂා, තමා කිසි දිනක ඩී.එෆ්.සී.සී. බැංකුවේ ගිණුමක් පවත්වා ගෙන ගොස් නොමැති බවත්, චෝදනාපත්‍රයේ සඳහන් ගිණුම් අංකය තමාට අයත් නොවන බවත් ප්‍රකාශ කර ඇත. ඇයගේ ඉල්ලීම මත ඩී.එෆ්.සී.සී. බැංකය විසින් නිකුත් කරන ලද ලිපියක් ද ඇය මේ සඳහා ඉදිරිපත් කර ඇති අතර, අදාළ චෝදනා කාලය වන 2010 – 2012 සමයේ තමා පාසල් සිසුවියක වූ බවද ඇය පෙන්වා දී තිබේ.
තම පෞද්ගලික කීර්තිනාමයට සහ වෘත්තීය ජීවිතයට බරපතළ හානි සිදු කර ඇති බැවින්, මෙම අසත්‍ය පුවත් පළ කළ සහ බෙදාහදාගත් ප්‍රවෘත්ති ආයතන, සමාජ මාධ්‍ය වේදිකා සහ පුද්ගලයන්ට එරෙහිව දැනටමත් නීතිමය පියවර ගෙන ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ඉදිරියටත් එවැනි අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු පළ කරන ඕනෑම අයකුට එරෙහිව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද ඇය අවධාරණය කර ඇත.















