පෞද්ගලික ආරවුලක් මත එකම පවුලකට අයත් නිවාස තුනක් ගිනි තබා රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සිදුකර පලා ගොස් සිටි සැකකරුවෙකු අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් අතුරුගිරිය ප්‍රදේශයේ එක් නිවසක් සහ මොරගහහේන ප්‍රදේශයේ නිවාස දෙකක් ගිනි තබා විනාශ කර ඇති අතර, තවත් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඇති බව ද පොලිසිය පවසයි.
මෙම සැකකරු සමඟ සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ කාන්තාවක්, ඇයගේ දරුවන්ගේ අකමැත්ත මත එම සබඳතාව නැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් සැකකරු මෙලෙස උරණ වී ඇත. ඒ අනුව ඔහු අදාළ කාන්තාවට අයත් මොරගහහේන නිවස ද, ඇයගේ එක් පුතෙකුට අයත් ඒ ආසන්නයේම පිහිටි තවත් නිවසක් සහ කාන්තාවගේ වැඩිමහල් පුතාට අයත් අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක් ද මෙලෙස ගිනි තබා විනාශ කර තිබේ. අනතුරුව මෙම සම්බන්ධතාවයට විරුද්ධ වූ එක් පුතකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත. ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අතුරුගිරිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
















