පොලිස් පුහුණු විද්‍යාලයේදී සමස්ත ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනෙකු අතුරින් “දක්ෂතම රියැදුරා” ලෙස සම්මාන දිනූ 27 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා (07) රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර – පාදෙණිය (A-28) ප්‍රධාන මාර්ගයේ තලාව, මොරගොඩ සුනාමි හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ කන්කසන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ, නාච්චාදූව පාර, තුරුවිල පදිංචිව සිටි ඒ. ඩී. රුචිර දිල්ෂාන් (107837) නැමැති නිලධාරියාය. නිවාඩු ලබා නිවසට පැමිණ සිටි ඔහු අනුරාධපුර ප්‍රදේශයේ සැණකෙළියක් නරඹා යළි යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට (Overtake) යාමේදී යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත. කැබ් රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, සැකකාර රියදුරු තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















