දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළේදී මුදල් ප්‍රතිපාදන කිසිසේත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කුඹුරු සහ වගා ඉඩම්වල එක් රැස් වී ඇති වැලි හා ගල් ඉවත් කිරීමේ කටයුතු සඳහා අක්කරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට මෙහිදී තීරණය විය. මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගොවි සංවිධානවල සක්‍රීය දායකත්වය ඇතිව කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත් පුද්ගලයන් 90,667ක් මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්ව ඇති අතර වතු නිවාස 77ක් සහ ග්‍රාමීය නිවාස 507ක් පූර්ණ හානියට පත්ව තිබේ. මීට අමතරව අධි අවදානම් තත්ත්වයේ පවතින නිවාස 2,850ක් හඳුනාගෙන ඇති අතර සමස්තයක් ලෙස පවුල් 3,434ක් නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාව පවතී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පෞද්ගලික සමාගම් සතු රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කරගෙන නිවාස ඉදිකිරීම් ආරම්භ කරන ලෙසත්, වාර්තාවලට පමණක් සීමා නොවී ජනතාවට නව නිවසක හිමිකාරිත්වය පිළිබඳ විශ්වාසය තහවුරු කළ යුතු බවත් අවධාරණය කළේය.
යටිතල පහසුකම් සංවර්ධනය යටතේ හානි වූ මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග 21හි වැඩ කටයුතු මේ වසර තුළ අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, පළාත් මාර්ග සඳහා අවශ්‍ය ඇස්තමේන්තු ද කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දුන්නේය. මෙම වසර අවසන් වන විට ආපදා තත්ත්වයෙන් පූර්ණ ලෙස යථා තත්ත්වයට පත්වී, ලබන වසරේ සිට දිස්ත්‍රික් සංවර්ධන වැඩපිළිවෙළ යළි ඇරඹීම රජයේ අපේක්ෂාවයි. මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














