දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවැති යුද්ධය නිමා කර සාමය උදා කිරීම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කෙරෙන 17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ මස 19 වැනිදා පස්වරු 3.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය රණවිරු සේවා අධිකාරිය විසින් මෙහෙයවනු ලබයි.
මෙවර සැමරුමේ සුවිශේෂී වෙනසක් ලෙස, සාමාන්‍ය ප්‍රොටොකෝලවලට වඩා රණවිරු පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කර ඇති බව රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) එස්.බී. කොහොන මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් ත්‍රිවිධ හමුදාවට එක්ව දිවි පිදූ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන් 30 දෙනෙකු පමණ මෙවර විශේෂ ආරාධිතයන් ලෙස එක් කර ගැනීම කැපී පෙනෙන ලක්ෂණයකි.
උත්සවය සඳහා යුද, නාවික, ගුවන් හමුදා, පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් 2,769 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගී වීමට නියමිතය. රණවිරු දෙමාපියන් සහ ඥාතීන් 160කට වැඩි පිරිසකට ප්‍රධාන උත්සවයට සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී ඇති අතර, ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් මල්කලඹ පුද කරන අවස්ථාවේදී එම පවුල්වල සාමාජිකයන්ටද ස්මාරකය අභියස උපහාර දැක්වීමට පහසුකම් සලසා ඇත.
රණවිරු සුභසාධනය වෙනුවෙන් රජය මේ වසර සඳහා රුපියල් මිලියන 569ක මුදලක් වෙන් කර ඇති බව රණවිරු සේවා අධිකාරිය පවසයි. ඉදිරි වසර පහ සඳහා සකස් කළ උපායමාර්ගික සැලැස්ම යටතේ රණවිරුවන්ගේ නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන සහ මනෝ-සාමාජීය ගැටලු විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් ගමින් ගමට ගොස් කටයුතු කිරීමට නියමිතය. ජාතික රණවිරු සැමරුම් උත්සවය එදින පස්වරු 6:45 ට නිමාවට පත් වීමට නියමිතව තිබේ.
















