“දිට්ටා” සුළි කුණාටුව හේතුවෙන් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීමේ මූලික අදියර අද (27) සාර්ථකව සිදු කෙරිණි. මෙම ආධාර ක්‍රමය යටතේ පූර්ණ හානියට පත්වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ද, අර්ධ හානියට ලක්වූ නිවාස සඳහා අවම වන්දි මුදල ලෙස රුපියල් ලක්ෂ 5 බැගින් ද ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ අර්ධ හානි වූ නිවාස සඳහා කිසිදු ඇස්තමේන්තු කිරීමකින් තොරව මෙම රුපියල් ලක්ෂ පහක අවම වන්දි මුදල කඩිනමින් ලබා දීමට තීරණය කර තිබීමයි. මීට අමතරව, නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා තෝරාගත් පවුල් 23ක් වෙනුවෙන් විශේෂ ආධාර මුදල් පිරිනැමීම ද පසුගියදා ඌව පළාත් සභා පරිශ්‍රයේදී සිදු විය.
ආපදාවට ලක්වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන මෙම කඩිනම් සහන සේවා වැඩපිළිවෙළ යටතේ ඉදිරි දිනවලදී සෙසු පවුල් සඳහා ද වන්දි මුදල් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.











