අතිපූජ්ය බලංගොඩ ආනන්ද මෛත්රීය මහා නාහිමියන් භාවිත කළ උපභෝග පරිභෝග වස්තු සහ පතපොත සංරක්ෂණය කිරීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, බලංගොඩ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත පුෂ්පකුමාර මහතා, ආනන්ද මෛත්රීය ජාත්යන්තර පුස්තකාලයේ පුස්තකාලාධිපති පූජ්ය නිවිතිගල අනෝම හිමියන් ඇතුළු පිරිසක් එක්වී තිබේ.
ශ්රී ලාංකේය බෞද්ධ ජනතාවගේ ධර්මාවබෝධය සහ ශාසනික උන්නතිය වෙනුවෙන් නාහිමියන්ගේ පතපොත හා භාණ්ඩ කඩිනමින් සංරක්ෂණය කිරීමේ අවශ්යතාව මෙහිදී අවධාරණය කර ඇත.
පූජ්ය නිවිතිගල අනෝම හිමියන්ගේ ඉල්ලීම පරිදි අමාත්යවරයා සහ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා මේ පිළිබඳව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබේ. ඒ අනුව, තාක්ෂණික නිපුණතාවයෙන් යුත් අමාත්යාංශ දූත මණ්ඩලයක් මඟින් අදාළ පතපොත පරීක්ෂා කර, ඒවායේ වත්මන් තත්ත්වය සහ ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
1992 වසරේ සිට මේ දක්වා ප්රතිසංස්කරණය කර නොමැති නාහිමියන් වැඩවිසූ කුටි සංකීර්ණය සහ වත්මන් පුස්තකාල ගොඩනැගිල්ල උපයෝගී කරගනිමින් බෞද්ධ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සකස් කිරීමට ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
නාහිමියන්ගේ උරුමයන් මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම ජාතික වගකීමක් බව මෙහිදී අවධාරණය කර ඇත.














