බංග්ලාදේශය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප (Measles) රෝගය හේතුවෙන් මේ වන විට මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 747ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරයි. ඊයේ උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක් සරම්ප රෝග ලක්ෂණ පෙන්වූ දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අලුතින් රෝගීන් 946 දෙනකු හඳුනාගෙන තිබේ. ඉන් 818 දෙනකු රෝහල්ගත කර ඇති අතර තවත් 128 දෙනකුට සරම්ප වැලඳී ඇති බව තහවුරු කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ බංග්ලාදේශයෙන් වාර්තා වී ඇති සමස්ත සරම්ප රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති අතර ඉන් 88,000කට ආසන්න පිරිසක් සුවය ලබා තිබේ.
පවතින සරම්ප ව්‍යාප්තියට අමතරව පාචනය සහ නියුමෝනියාව වැනි රෝග ද පැතිර යාම හේතුවෙන් බංග්ලාදේශයේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත. මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව එරට වයස අවුරුදු 5ට අඩු දරුවන් 24,000ක් පමණ වාර්ෂිකව නියුමෝනියාවෙන් පමණක් මියයන අතර, එය දිනකට මරණ 60ක සාමාන්‍යයකි. බංග්ලාදේශයේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ සාමාන්‍ය මරණ අනුපාතය ජීවී උපත් 1,000කට 33ක් වුවද, එරට පවතින අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් අතර මෙම මරණ අනුපාතය මීට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව ද සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.
















