හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ සමීපතමයෙකු වන බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් (Mohammed Shahabuddin) මහතා හෙට (සිකුරාදා) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
තමන් නැවත බංග්ලාදේශයට පැමිණ අධිකරණයට භාරවීමට සූදානම් බව විදේශගතව සිටින ෂෙයික් හසීනා ප්‍රකාශ කිරීමත් සමඟ, ඇගේ හිතවාදීන් තවදුරටත් රජයේ ඉහළ තනතුරුවලින් ඉවත් කරන ලෙස අලුතින් පත්වූ අගමැති තාරික් රහ්මාන්ගේ (Tarique Rahman) රජයට ජනතාවගෙන් දැඩි බලපෑමක් එල්ල විය. 2024 ශිෂ්‍ය අරගලය හමුවේ හසීනා රටින් පලාගිය අතර, ශිෂ්‍යයන් 1,400කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් ඇයට අබිමුව මරණ දඬුවම නියම වී තිබේ.
ජනාධිපති ෂහාබුදීන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපතිවරයෙකු තේරී පත්වන තෙක් පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දීන් අහමඩ් (Hafiz Uddin Ahmad) මහතා අන්තර්කාලීන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















