බංග්ලාදේශයේ බන්ධනාගාරවල පවතින නියමිත ධාරිතාව මෙන් දෙගුණයකට ආසන්න සංඛ්‍යාවක් රැඳවියන් රඳවා සිටීම හේතුවෙන් බරපතල අර්බුදකාරී තත්ත්වයක් මතු වී තිබේ.
එරට බන්ධනාගාර 75 ක් තුළ රැඳවියන් 45,186 දෙනෙකු සඳහා පමණක් පහසුකම් පැවතියද, මේ වන විට අතිශය දුෂ්කර හා අමානුෂික තත්ත්වයන් යටතේ රැඳවියන් 98,233 දෙනෙකු එහි රඳවා සිටින බව වාර්තා වේ. මූලික මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන මෙම තත්ත්වය සම්බන්ධයෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ද පාර්ලිමේන්තුවේදී කරුණු පිළිගෙන ඇති අතර, බන්ධනාගාර තුළ පවතින දැඩි වෛද්‍ය හිඟය හේතුවෙන් පසුගිය වසර තුළ රැඳවියන් 187 දෙනෙකු සහ මෙම වසරේ මේ දක්වා 122 දෙනෙකු මියගොස් ඇත.















