කළුතර උතුර ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව නැවතී සිටි බංග්ලාදේශ ජාතිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 15කට අධික දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මුදල් අහිමි වී ඇත්තේ කමාල් හොසේන් ඩිඩාර් නමැති බංග්ලාදේශ ජාතිකයාටය. ඔහු සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා මිතුරෙකු සමඟ පසුගිය 6 වැනිදා මෙරටට පැමිණ ඇති අතර පසුව එම මිතුරාගේ යෙහෙළියන් දෙදෙනෙකු ද ඔවුන් සමඟ එක්ව ඇත. මොවුන් සිව්දෙනාම පසුගිය 13 වැනිදා සිට කළුතර උතුර, ගැමුණු මාවතේ පිහිටි නිවසක කුලියට පදිංචිව සිට තිබේ.
පැමිණිලිකරු පවසන පරිදි සොරකමට ලක්ව ඇති මුළු මුදල රුපියල් 1,564,487කි. මෙයට ඇමෙරිකානු ඩොලර් 4,900ක් සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 13,000ක් ඇතුළත් වේ. පසුගිය 18 වැනිදා දහවල් කාලයේ පැමිණිලිකරු නින්දෙන් අවදි වන විට ඔහු සමඟ සිටි විදේශීය මිතුරා සහ යෙහෙළියන් දෙදෙනා ඔවුන්ගේ ගමන් මලු ද සමඟ මුදල් සොරාගෙන පළා ගොස් ඇති බව අනාවරණය වී ඇත.
සැකකාර විදේශිකයන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














