ශ්‍රී ලාංකේය තරුණ පරපුරට තිරසාර රැකියා අවස්ථා උදා කර දීමේ අරමුණින්, ජාතික යොවුන් සේනාංකය සහ Barista Coffee Lanka සමාගම එක්ව සංවිධානය කරන බැරිස්ටා (Barista) වෘත්තීය පුහුණු පාඨමාලාවේ දෙවන කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඊයේ (15) නිල වශයෙන් ආරම්භ විය.
කොළඹ නවම් මාවතේ පිහිටි Barista Coffee Lanka ප්‍රධාන කාර්යාලයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. මාස 06ක කාලසීමාවක් පුරා ක්‍රියාත්මක වන මෙම පූර්ණකාලීන වැඩසටහනට පෙර, තෝරාගත් පුහුණුලාභීන් සඳහා කටුනායක ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේදී දින 14ක සාර්ථක ජීවන කුසලතා (Life Skills) පුහුණුවක් ලබා දී තිබේ.
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් මෙම පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 මට්ටමේ සහතිකයක් හිමිවන වැඩසටහනකි. ජාතික යොවුන් සේනාංකය මගින් ජීවන කුසලතා පුහුණුව ලබා දෙන අතර, Barista ආයතනය විසින් පැය 80ක න්‍යායික පුහුණුවක් සහ දිවයින පුරා පිහිටි බැරිස්ටා අවන්හල් ජාලය තුළ පැය 900ක ප්‍රායෝගික පුහුණුවක් (On-the-job training) ලබා දීමට නියමිතය.
පුහුණු කාලසීමාව තුළදී සිසුන්ට රුපියල් 10,000ක මාසික දීමනාවක්, දෛනික ආහාර, නිල ඇඳුම් සහ ප්‍රවාහන පහසුකම් හිමිවේ. මෙම පාඨමාලාවේ සුවිශේෂීම අංගය වන්නේ, එය සාර්ථකව අවසන් කරන සියලුම සිසුන් සඳහා Barista ආයතනය තුළම ස්ථිර රැකියාවක් හිමි වීමයි.
මෙම අවස්ථාව සඳහා Barista Coffee Lanka ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිලුප පතිරණ, මානව සම්පත් හා පරිපාලන ප්‍රධානී හර්ෂ චානක යන මහත්වරුන් සහ ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් අතිරේක අධ්‍යක්ෂ සමන් කුලසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















