ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පැවති මැයි දින රැලියකදී අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
එළැඹෙන මැයි 25 වැනිදා ලබාදීමට නියමිත අධිකරණ තීන්දුවක් පිළිබඳව සඳහන් කරමින්, එම තීන්දුව ලැබුණු පසු ජනතාවට ඒ පිළිබඳව උදම් ඇනීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රකාශ මඟින් අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් සිදුවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගෙන බවයි.
එමෙන්ම, මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු විය හැකි බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් නිරන්තරයෙන් කැපවී සිටින බවත්, ඒ වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත.















