ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන එගොඩවිතානගේ මහතා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී කළ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව පවසමින් නීතිඥ සංගමය ඒවා තරයේ ප්‍රතික්ෂේප කරයි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී එකී චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටතදී ද සිදුකරන ලෙස නීතිඥ සංගමය අදාළ මන්ත්‍රීවරයාට අභියෝග කර සිටින අතර, එසේ කළහොත් ඊට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා බව ද නිවේදනය කරයි. නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙවැනි පහත් දේශපාලන ප්‍රහාර මගින් නීති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සහ විශ්වාසනීයත්වය බිඳහෙළිය නොහැකි බවයි.














