ඉන්දියාවේ වන්දනා ගමන් සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා වන වීසා ගාස්තු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත්, සුදුසුකම් ලබන වන්දනා කණ්ඩායම් සඳහා නොමිලේ (Gratis) වීසා ලබාදීමේ පහසුකම නැවත ආරම්භ කළ බවත් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
අද (24) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය මත පුද්ගලයින් 10 දෙනෙකුගෙන් හෝ ඊට වැඩි කණ්ඩායම් සඳහා මෙම නොමිලේ වීසා පහසුකම හිමිවන බවයි. වීසා සේවා සපයන ආයතනය වෙනස් වීම නිසා මෙය තාවකාලිකව නැවතී තිබූ අතර, ජූලි 07 වනදා සිට නව ආයතනය (ICAC) හරහා එය නැවත ක්‍රියාත්මක වේ. වීසා සඳහා ගාස්තුවක් අය නොකළ ද, ජෛවමිතික දත්ත (Biometrics) ලබාදීමේදී ICAC ආයතනයට රුපියල් 1,855ක සේවා ගාස්තුවක් (Service fee) පමණක් ගෙවිය යුතු බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.














