සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන, කාලයක් තිස්සේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර’ නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (15) අවසර ලබා දුන්නේය. ඔහු ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ 43 වන සැකකරු ලෙස නම් කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම ඝාතනය සඳහා ගිනි අවිය සැපයූ බවට සැකකෙරෙන ‘ගම්පහ ඔස්මන්’ හෙවත් ඔස්මන් ගුණසේකර නමැත්තා නඩුවේ 44 වන සැකකරු ලෙස නම් කිරීමට ද අවසර ලබා දුන්නේය.
කෙසෙල්බද්දර පත්මේ, නීතිඥ තමරා කුමාරි අබේරත්න ඇතුළු මෙම ඝාතන සිද්ධියේ සෙසු සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරුණු අතර, සැකකාර නීතිඥවරිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














