ඉරාන යුද ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා හේතුවෙන් හටගත් ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ, ඉන්දියාව සිය ඉන්ධන මිල සියයට 3 කින් පමණ යළි ඉහළ නංවා තිබේ. ඒ අනුව, නව දිල්ලි රජය සිකුරාදා (15) දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක මිල රුපියල් 3 කින් ($0.03) වැඩි කිරීමට පියවර ගෙන ඇත. මෙම මිල සංශෝධනයත් සමඟ ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 97.77ක් සහ ඩීසල් ලීටරයක් රුපියල් 90.67ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලොව තෙවැනි විශාලතම තෙල් ආනයනකරු වන ඉන්දියාව, සිය පාරිභෝජනයෙන් සියයට 90ක්ම විදේශයන්ගෙන් ලබාගන්නා අතර ඉන් අඩක්ම ප්‍රවාහනය කෙරෙන්නේ දැනට අර්බුදයට ලක්ව ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය. අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුදමය වාතාවරණය හේතුවෙන් සැපයුම් ඇනහිටීම ඉන්දියාවට දැඩි ආර්ථික බලපෑමක් එල්ල කර ඇත.
මෙම තත්ත්වය හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම “දේශප්‍රේමී” ක්‍රියාවක් ලෙස සලකන ලෙසයි. හැකි සෑම විටම නිවසේ සිට වැඩ කරන ලෙසත් (WFH), විදේශ සංචාර සහ රන් මිලදී ගැනීම් සීමා කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව පොදු ප්‍රවාහනය භාවිතා කිරීම සහ වාහන බෙදාගැනීමේ (carpooling) ක්‍රමවේද දිරිමත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
බොරතෙල් ආනයනය අවම කිරීමේ උත්සාහයක් ලෙස ඉන්දියාව පෙට්‍රල් සඳහා එතනෝල් සියයට 20ක් මිශ්‍ර කිරීම (E20) දැනටමත් වේගවත් කර ඇති අතර, එය සියයට 100 දක්වා ඉහළ නැංවීමට ද රජය යෝජනා කර ඇත. කෙසේ වෙතත්, මෙම ජෛව ඉන්ධන මිශ්‍ර කිරීම හරහා ගෝලීය මිල උච්චාවචනයන් පාලනය කරගත හැකි වුවද, එය පැරණි වාහන එන්ජින්වලට හානිකර විය හැකි බව බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති.














