දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ස්ථාපිත ‘Rebuilding Sri Lanka’ අරමුදලට බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය විසින් යූරෝ 17,600ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 70ක් පමණ) පරිත්‍යාග කර තිබේ.
මෙම මූල්‍යාධාරය බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ උප සභාපති නිමල් ජයකොඩි මහතා විසින් පසුගිය 19 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
පරිත්‍යාග කරන ලද මෙම මුදල් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බරපතළ හානියට ලක් වූ මාතලේ, ගම්මඩුව දෙමළ මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශේෂයෙන් යෙදවීමට නියමිතය.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය, එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සහ බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ සහය හිමි විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා මහතා සහ බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ සාමාජිකා තරංගා සුභාෂිණී මහත්මිය ද එක්ව සිටියහ.















