ජෝර්දානයේ අම්මාන් නුවරදී ‘2026 ශ්‍රී ලාංකික ආහාර ප්‍රදර්ශනය’ (Sri Lankan Food Fair 2026) ඉතා සාර්ථක ලෙස පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ සහ විවිධත්වයෙන් යුත් ආහාර සංස්කෘතිය ලොවට විදහා දැක්වීම, ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ විය.
ප්‍රදර්ශනයට පැමිණි අමුත්තන්ට කොත්තු රොටි, ආප්ප, ඉඳිආප්ප, තෝසෙ සහ පිට්ටු වැනි ප්‍රධාන ආහාර මෙන්ම කට්ලට්, පැටිස්, වඩේ, බනිස්, රෝල්ස් සහ රොටි වැනි කෙටි ආහාර ද රසවිඳීමට අවස්ථාව ලැබිණි. එසේම විවිධ දේශීය රසකැවිලි හා පාන වර්ග රැසක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින්ම මෙම ආහාර පිළියෙල කර තිබීම විශේෂත්වයකි. ලෝක ප්‍රකට සිලෝන් ටී (Ceylon Tea) ඇතුළත් තේ පැන්හල වෙත පැමිණි අමුත්තන්ගේ විශේෂ අවධානය සහ ප්‍රසාදය හිමි විය.















