බේරුවල නගර සභාවේ මාසික සභා වාරයේදී සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ සංවර්ධන යෝජනාවක් වැඩි ඡන්දයෙන් පරාජයට පත්වීමත් සමඟ සභාව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.සභාපති මොහොමඩ් මාසාහිම් මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එම්.එන්.එම්. ඉර්ෂාද් මහතා අතර ඇති වූ වාචික සංවාදයක් හේතුවෙන් සභාවේ කටයුතු මුලින්ම මිනිත්තු 20කට අත්හිටුවීමට පියවර ගැනුණි. පසුව පැවැති ඡන්ද විමසීමේදී සභාපතිවරයාගේ යෝජනාව පරාජයට පත්වීමෙන් පසු, අදාළ මන්ත්‍රීවරයාව සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය.සභාපතිවරයාගේ මෙම නියෝගය මත පොලිස් නිලධාරීන් හය දෙනෙකු සභා ගර්භයට පැමිණියද, උප සභාපතිවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා එම නිලධාරීන්ට සභා පරිශ්‍රයෙන් පිටව යාමට සිදු විය. අවසානයේදී, අදාළ මන්ත්‍රීවරයා සභාපතිවරයාගෙන් සමාව අයැදීමෙන් අනතුරුව සභාවේ කටයුතු නැවත යථා තත්ත්වයට පත් විය.
















