සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක බ්ලෙසිං මුසරබානි (Blessing Muzarabani) හට වසර දෙකක කාලයක් පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියට සහභාගී වීම තහනම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලනාධිකාරිය (PCB) පියවර ගෙන තිබේ. මෙම තහනම 2026 අප්‍රේල් 14 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති අතර ඒ අනුව ඔහුට 2028 වසර දක්වා PSL තරගාවලිය අහිමි වනු ඇත.
මුසරබානි මෙවර PSL තරගාවලිය සඳහා ඉස්ලාමාභාද් යුනයිටඩ් (Islamabad United) කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටියදී, එයින් ඉවත් වී ඉන්දීය ප්‍රිමීයර් ලීග් (IPL) තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම සමඟ එක්වීමට කටයුතු කිරීම මෙම තහනමට හේතු වී තිබේ. කොල්කටා කණ්ඩායම විසින් මුසරබානිව බඳවා ගනු ලැබුවේ බංග්ලාදේශ ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසය.
PCB ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මුසරබානි ඉස්ලාමාභාද් යුනයිටඩ් කණ්ඩායමේ කොන්දේසි ලිඛිතව පිළිගෙන තිබියදී, අවසන් මොහොතේ එම වගකීම් පැහැර හැරීම ලීගයේ වෘත්තීය රාමුවට සහ විශ්වාසනීයත්වයට කරන ලද හානියක් බවයි. මෙලෙස ගිවිසුම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් මීට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩක කෝබින් බොෂ් හට ද වසරක PSL තහනමක් පැනවූ අතර, මුසරබානිගේ සිදුවීම වඩාත් බරපතළ ලෙස සලකා වසර දෙකක තහනමක් පැනවීමට පියවර ගෙන ඇත.
බ්ලෙසිං මුසරබානි 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා (ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 17ට කඩුලු 4ක් ඇතුළුව) නිසා ඔහුගේ ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ ගිය අතර, IPL සහ PSL තරගාවලි දෙකම එකම කාලසීමාවක පැවැත්වීම මෙම අර්බුදයට බලපා තිබේ.














