බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති ප්‍රදර්ශනයකදී විකිණීමට තිබූ වාහන විකුණා දෙන බව පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ බව කියන සැකකරුවෙකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සැකකරු ව්‍යාජ නමක් භාවිතා කරමින් BMICH පරිශ්‍රයේ ප්‍රදර්ශන කුටි දෙකක් පවත්වාගෙන යමින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි. වාහන මිලදී ගැනීමට සහ විකිණීමට පැමිණෙන පුද්ගලයින් මුණගැස්වීමේ මුවාවෙන් ඔහු මෙම වංචාව සිදුකර තිබේ.
මෙම සැකකරුට එරෙහිව වාහන සම්බන්ධ ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයේ ද නඩුවක් පවතින බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියහ. විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස CID නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
















