පෑලියගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳුන් හය දෙනෙකුට රුපියල් මිලියන 160කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත හොරණ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් වන රේණුකා දමයන්ති මහත්මිය වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මන්ත්‍රීවරිය විසින් වලංගු නොවන චෙක්පත් ලබා දෙමින් වෙළඳුන් රවටා මෙම මුදල් වංචා කර ඇති බවට වාර්තා වේ. ඇය මීට පෙර සිටම මෙම වෙළඳුන් මගහරිමින් සිට ඇති අතර, ඊයේ (18) ඇය සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත වෙළඳුන් පිරිසක් එහි ගොස් ඇය සමඟ වාද විවාදයක නිරත වී තිබේ.
එම අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් මිරිහාන පොලිසිය විසින් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී වෙළඳුන් විසින් ඇයට එරෙහිව පැමිණිලි ගොනු කිරීමෙන් අනතුරුව, මිරිහාන පොලිසිය විසින් සැකකාරිය වත්තල පොලිසිය වෙත භාර දී තිබේ.















