මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රධාන ජලවිදුලි බලාගාර ආශ්‍රිත කාසල්රී සහ මවුස්සාකැලේ යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම් මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරුන් තහවුරු කර තිබේ. පසුගිය කාලසීමාව පුරා පැවති වියළි කාලගුණය හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් ඉතා පහළ බැස තිබූ අතර, ඊයේ (21) දින සිට ජල පෝෂක කලාප වෙත ලැබෙන තද වැසි තත්ත්වය මෙලෙස ජල ධාරිතාව යළි වර්ධනය වීමට සෘජුවම දායක වී ඇත.
ඉංජිනේරු වාර්තාවලට අනුව ඊයේ දිනය තුළ පමණක් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 27 ක වර්ෂාපතනයක් සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 31.5 ක සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. අද (22) උදෑසන 6.00 වන විට ලබාගත් දත්ත අනුව, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමට වඩා අඩි 47.9 ක් පහළින් පවතින අතර, කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අඩි 23.6 ක් පහළින් පවතින බව බලධාරීන් සඳහන් කරයි. කඳුකරයට අඛණ්ඩව වැසි ලැබුණහොත් ඉදිරි දින කිහිපය තුළ ජලවිදුලි උත්පාදනය සඳහා අවශ්‍ය උපරිම ජල ධාරිතාවය ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.














