දිගු කලක පසුව කතෝලික සභාව සහ රජය අතර නිල සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි. වසර නවයකට පසුව දෙපාර්ශවය අතර මෙවැනි නිල හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය වෙයි
රජයට පවරා ගත් කතෝලික පාසල්වල පවතින පරිපාලන ගැටලු නිරාකරණය කරගැනීම සහ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබා ගත හැකි නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මීට අමතරව පාසල් තුළ කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා විධිමත් ගුරු කාර්ය මණ්ඩල ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව සහ ගුරු වෘත්තිය සඳහා කතෝලික පියතුමන්ලා මෙන්ම පූජක සොහොයුරියන් බඳවා ගැනීම පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු වී ඇත.
කිසිදු භේදයකින් තොරව රටේ සියලුම සිසුන්ට තමන් අදහන ආගම ඉගෙනීමේ අයිතිය තහවුරු කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම තමන් වහන්සේගේ ප්‍රධාන බලාපොරොත්තුව බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙහිදී අවධාරණය කළහ.
මෙම සාකච්ඡාමය ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා කතෝලික සභාව සමඟ පවත්වන නිල සාකච්ඡා වසරකට තෙවරක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාව එහි ලේකම්වරයා ලෙස පත් කිරීමට ද මෙහිදී පියවර ගෙන ඇත.














