ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිවලින් (Tariffs) එල්ල වන බලපෑම් අවම කරගැනීම සහ ඇමරිකාව මත පවතින ආර්ථික යැපීම සීමා කිරීම අරමුණු කරගනිමින් මෙක්සිකෝව සහ යුරෝපා සංගමය (EU) අතර දිගු කලක් තිස්සේ ප්‍රකාශයට පත් කර තිබූ නිදහස් වෙළඳ ගිවිසුම අද (22) අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
වසර 2025 දී දෙපාර්ශවය අතර පුළුල් එකඟතාවකට පැමිණිය ද නිල වශයෙන් අත්සන් කිරීම ප්‍රකාශයට පත් කර නොතිබූ මෙම ගිවිසුම, වසර 2000 දී අත්සන් කරන ලද පැරණි මෙක්සිකෝ-යුරෝපා සංගම් වෙළඳ ගිවිසුමේ දිගුවක් ලෙස ක්‍රියාත්මක වෙයි. පැරණි ගිවිසුම මඟින් කාර්මික භාණ්ඩ (Industrial goods) පමණක් ආවරණය වූ අතර, අද දින අත්සන් තැබෙන නව ගිවිසුම හරහා සේවා සැපයුම්, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්, ඩිජිටල් වෙළඳාම, ආයෝජන සහ කෘෂිකාර්මික නිෂ්පාදන ද ඇතුළත් කරමින් එහි සීමාවන් පුළුල් කර තිබේ.
මෙම නව වෙළඳ එකඟතාවයත් සමඟ, වසර 2030 වන විට යුරෝපා සංගමය වෙත සිදුකරන මෙක්සිකානු අපනයන ප්‍රමාණය වත්මන් ඇමරිකානු ඩොලර් බිලියන 23.8 සිට ඩොලර් බිලියන 36.1 ක් දක්වා ඉහළ නංවා ගැනීමට මෙක්සිකෝව අපේක්ෂා කරයි. ට්‍රම්ප් පාලනයේ ‘විමුක්ති දින’ (Liberation Day) බදු පැනවීම් හමුවේ යුරෝපා සංගමය දැඩි ආර්ථික බලපෑම්වලට ලක්වූ අතර, මෙක්සිකෝව ද උතුරු ඇමරිකානු වෙළඳ ගිවිසුම (USMCA) නැවත සාකච්ඡා කරමින් සිටින වටපිටාවක මෙම නව පියවර දෙපාර්ශවයේම ආර්ථික විවිධාංගීකරණයට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති.














