මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසය තුළ මෙරට නිෂ්පාදන සහ සේවා යන ප්‍රධාන ආර්ථික අංශ දෙකෙහිම ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) අප්‍රේල් මාසයේ පැවැති 42.6ක පහළ අගයේ සිට මැයි මාසයේදී 56.6ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මෙහි විශේෂත්වය වන්නේ සියලුම අනු දර්ශකයන් කඩඉම් මට්ටම ලෙස සැලකෙන 50.0 සීමාවට වඩා ඉහළ අගයක් වාර්තා කිරීමයි. ආහාර හා පාන වර්ග, රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රවල සිදුවූ ප්‍රසාරණය සහ අප්‍රේල් මාසයට වඩා මැයි මාසයේ වැඩ කරන දින ගණන වැඩි වීම මීට ප්‍රධාන හේතු වී ඇත. එමෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා නියුක්තිය ද දර්ශක අගය 59.7ක් දක්වා ඉහළ යමින් විශාල වර්ධනයක් පෙන්වයි.
සේවා අංශය ද අප්‍රේල් මාසයේ පැවති පහළ මට්ටමේ සිට යථා තත්ත්වයට පත්වෙමින් මැයි මාසයේදී 56.9ක දර්ශක අගයක් වාර්තා කර තිබේ. මූල්‍ය සේවා, වෘත්තීය සේවා, දේපළ වෙළඳාම්, තොරතුරු තාක්ෂණ සහ භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍රවල දක්නට ලැබුණු පිබිදීම මීට හේතු වී ඇතත්, විශ්‍රාම ගැනීම් සහ සේවක ඉල්ලා අස්වීම් හේතුවෙන් සේවා අංශයේ රැකියා නියුක්තියේ යම් පහළ යාමක් (49.4) වාර්තා වේ.
ඉදිරි පෙරහැර සමයත් සමඟ සංචාරක පැමිණීම් ඉහළ යනු ඇතැයි ව්‍යාපාරිකයන් ධනාත්මක බලාපොරොත්තු තබා ඇති අතර, මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සැපයුම් ලැබීමේ කාලය (Lead Time) ඉහළ යාම සහ මෙහෙයුම් අභියෝග පිළිබඳව ව්‍යාපාරික අංශ සිය කනස්සල්ල පළ කර සිටියි.
















