කැලණි ගඟේ පවතින දැඩි ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති සමාගම් සමඟ දැනට පවත්වනු ලබන සාකච්ඡාවල ප්‍රගතිය ද කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. මීට අමතරව, කැලණි ගඟ සුරැකීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනා සහ පරිසර දූෂණයට බලපාන තවත් ගැටලු රැසක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා. මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පරිසර අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියා.
















