ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව මාර්ගගත (Online) පද්ධතියක් අද (15) හඳුන්වා දෙන ලදී. මූල්‍ය ක්ෂේත්‍රයේ වගවීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි.
මෙම පද්ධතිය හරහා පාරිභෝගිකයන්ට දවසේ ඕනෑම වේලාවක (24/7) සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව ද මාර්ගගතවම පරීක්ෂා කිරීමේ පහසුකම සලසා ඇත. මේ හරහා ලිපි ලේඛන මගින් සිදුවන ප්‍රමාදයන් අවම කරමින් පැමිණිලි විසඳීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි.
පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පාරිභෝගිකයන් පළමුව අදාළ මූල්‍ය ආයතනය වෙත සිය ගැටලුව යොමු කළ යුතුය. එම ආයතනය මගින් විසඳුමක් නොලැබෙන්නේ නම් හෝ ලැබුණු පිළිතුර පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් පමණක් මහ බැංකුවේ මෙම නව පද්ධතිය හරහා පැමිණිලි යොමු කළ හැකිය. පාරිභෝගිකයන්ට https://reachus.cbsl.lk/
යන සබැඳිය ඔස්සේ මෙම පද්ධතියට ප්‍රවේශ විය හැක.
















