ප්‍රාග්, චෙක් ජනරජය – කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන හෝමෝන සහ පරිවෘත්තීය ආබාධයක් වන PCOS (Polycystic Ovary Syndrome) හි නම, මින් ඉදිරියට PMOS (Polymetabolic Ovary Syndrome) ලෙස වෙනස් කිරීමට ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් තීරණය කර ඇත. යුරෝපීය අන්තරාසර්ග විද්‍යා සම්මේලනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම තීරණය, රෝගීන් රෝග විනිශ්චය කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට ගත් තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
1935 වසරේ සිට භාවිත වූ ‘PCOS’ යන නම වර්තමානයට නොගැලපෙන බවත්, එය රෝගීන් සහ වෛද්‍යවරුන් නොමග යවන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම රෝගයේ නමෙහි “ගෙඩි රාශියක් සහිත” යන අර්ථය තිබුණද, මෙම තත්ත්වය ඇති බොහෝ කාන්තාවන්ගේ ඩිම්බකෝෂවල ගෙඩි දක්නට නොලැබීම මීට ප්‍රධාන හේතුවකි. එසේම මෙය හුදෙක් ප්‍රජනන පද්ධතියේ ගැටලුවක් නොව, ශරීරයේ සීනි මට්ටම සහ හෝමෝන ක්‍රියාවලිය ආශ්‍රිත පුළුල් සෞඛ්‍ය තත්ත්වයක් බැවින් ‘Metabolic’ යන වචනය අලුත් නමට එක් කර තිබේ.
මෙම නම වෙනස් කිරීම සඳහා රටවල් කිහිපයක වෛද්‍ය සහ රෝගී කණ්ඩායම් 56ක් සිය කැමැත්ත පළ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙලන් ටීඩ්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මෙම රෝගය පවතින කාන්තාවන්ගෙන් 70%ක් පමණ තමන්ට රෝගය ඇති බව නොදන්නා අතර නම වෙනස් කිරීම හරහා අක්‍රමවත් ඔසප් චක්‍රය, කුරුලෑ හටගැනීම, අධික රෝම වර්ධනය සහ බර වැඩිවීම වැනි ප්‍රධාන රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින් රෝගය ඉක්මනින් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.














