ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුවට සමගාමීව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණීමට සහ ආයෝජන සඳහා මෙය කඩඉම් සහ සුදුසුම කාලය වන බවයි.
ගෝලීය බලශක්ති කම්පන සාර්ථකව කළමනාකරණය කරමින් රට ස්ථාවර ආර්ථික වර්ධන මාවතකට පිවිස ඇති බව පෙන්වා දී ඇති අධිපතිවරයා, ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව අඛණ්ඩව වසර තුනක් පුරා සියයට 5ක ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව අවධාරණය කළේය. මැදපෙරදිග අර්බුද වැනි බාහිර අභියෝග සාර්ථකව ජය ගනිමින් ස්ථාවර විනිමය අනුපාතික සහ විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිපත්ති යටතේ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ඉතා යෝග්‍ය පරිසරයක් මේ වන විට නිර්මාණය වී තිබේ.
ජූලි මාසයේදී උද්ධමනය සියයට 7.3 දක්වා ඉහළ ගියද, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 80 මට්ටමේ පවතින්නේ නම් ලබන වසරේ මුල වන විට උද්ධමනය සියයට 5 ඉලක්කගත මට්ටමට ගෙන ඒමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින ශ්‍රී ලංකාව, එම අරමුදල් වැඩසටහන යටතේ ස්ථාවරත්වය සහ වර්ධනය අත්පත් කරගත් සාර්ථක ‘සිද්ධි අධ්‍යයනයක්’ ලෙස වර්තමානයේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති බවද වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














