27 April 2024
#දේශීය

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

1979 අංක 45 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත ජාතික වැවිලි කළමනාකරණ ආයතනය කුඩා වතු හිමියන් ඇතුළු වැවිලි ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන්ගේ වෘත්තීය හැකියා ඉහළ නිපුණතාවකින් යුතුව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ. සම්මන්ත්‍රණ, වැඩමුළු හා විභාග පැවැත්වීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සඳහා පර්යේෂණ හා උපදේශන සේවා සැපයීම ද ආයතනය මගින් සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ වෘත්තිකයන් 10 දෙනෙකුට ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ගෞරවනීය වෘත්තීයමය සාමාජිකත්වය, වැවිලි ක්ෂේත්‍රයට අදාළ වරලත් වෘත්තීය සාමාජිකත්වය 09 දෙනෙකුට, ආශ්‍රිත වෘත්තීය සාමාජිකත්වය 05 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් පිරිනැමිණ.

උසස් ඩිප්ලෝමාව 12 දෙනෙකුට, ඩිප්ලෝමාව 86 දෙනෙකුට සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පුහුණුව නිම කළ විද්‍යාර්ථයින් 224 දෙනෙකු වෙත සහතික පත් ප්‍රදානය ද මෙහිදී සිදු විය.

තානාපතිවරු, වැවිලි සහ වැවිලි රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති, වැවිලි ක්ෂේත්‍රයේ සේවයේ නියුතු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *