මූලාසනයට අවනත නොවෙමින් සහ සභාව තුළ කලහකාරී ලෙස හැසිරෙමින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට දිගින් දිගටම උත්සාහ කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (20) නියෝග කළේය.
කථානායකවරයාගේ නියෝගය නොසලකා හරිමින් මන්ත්‍රීවරයා දිගින් දිගටම සිය වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම නිසා, ඔහුව පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට කිහිප වතාවක් නියෝග කර තිබුණි. ඒ අනුව, වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් මන්ත්‍රීවරයා ඉවත් කිරීමට උත්සාහ කළ අතර, විනාඩි 10කට අධික කාලයක් විරෝධතාවයේ යෙදීමෙන් පසුව ඔහු සභා ගර්භයෙන් ඉවත් විය.
මෙම සිදුවීම ආරම්භ වූයේ මන්ත්‍රීවරයා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවසර ඉල්ලා සිටීමත් සමඟය. කථානායකවරයා මූලිකව අවස්ථාව ලබා නොදුන්නද, පසුව සිදු කළ ඉල්ලීම මත අවස්ථාව ලබා දෙන ලදී. කෙසේ වෙතත්, එම ප්‍රශ්නය අධිකරණ නියෝගයකට අදාළ වන බව පවසමින් එය ඉදිරිපත් කිරීම වළක්වාලීමට කථානායකවරයා කටයුතු කිරීමත් සමඟ සභාව තුළ දැඩි නොසන්සුන්තාවක් හටගත්තේය.
සභා නායක බිමල් රත්නායක මහතාද මැදිහත් වෙමින් ස්ථාවර නියෝගවලට පිටින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ඉඩ නොදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද මන්ත්‍රීවරයාට පක්ෂව සභාව මැදට පැමිණ විරෝධය පළ කරන අයුරු දක්නට ලැබුණි. කථානායකවරයාගේ නියෝගය පරිදි ඊයේ දවස පුරාම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ද රැඳී සිටීමට මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට අවසර නොලැබේ.














