මෙරට දළ දේශීය නිෂ්පාදනය (GDP) වර්ධනය කිරීම සඳහා එක් එක් පළාත් මට්ටමින් ඉහළ දායකත්වයක් ලබා ගත හැකි ක්‍රමවත් සැලසුම් සකස් කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පත් කළ මන්ත්‍රී පී. සත්‍යලිංගම් මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රටේ සංචිත ප්‍රමාණය අඩු වී ඇති වටපිටාවක, රජයට පමණක් දොස් පවරා සිටීමෙන් පලක් නොවන බවයි. දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසා සියලු පළාත් එක්ව කටයුතු කළ යුතු බවත්, පළාත් අනුව දායකත්වයේ පවතින විෂමතාවන් තුරන් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
ඔහු දැක්වූ සංඛ්‍යාලේඛනවලට අනුව, දැනට පවතින දායකත්වය පහත පරිදි වේ:
බස්නාහිර පළාත – සියයට 42
නැගෙනහිර පළාත – සියයට 5
උතුරු පළාත – සියයට 4.2
මෙම දායකත්වය වඩාත් වැඩි කර ගැනීම සඳහා පළාත්වලට ගැලපෙන ආර්ථික සැලසුම් රජය විසින් සකස් කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා නිශ්චිත සැලැස්මක් රජය සතුව පවතී නම් එය ඉතා වැදගත් බවත්, රටේ පවතින වරායන් සහ ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම මගින් ආර්ථිකයට නව ජවයක් එක් කළ හැකි බවත් පී. සත්‍යලිංගම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.














