පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකර ඇති අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් ඒ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා නිවේදනය කරයි.
පසුගිය ජූලි 10 වන දින හෝ ඒ ආසන්න දිනයකදී ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී මන්ත්‍රීවරයා විසින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බව පියතුමා පවසයි. ජූලි 2 වන දින යුද හමුදාපතිවරයා පලතුරු කූඩයක් රැගෙන කාදිනල් හිමිපාණන් හමුවීමට ගිය බවත්, ඉන් අනතුරුව යුද හමුදාපතිවරයාගේ ධුර කාලය 2028 ජනවාරි හෝ පෙබරවාරි දක්වා දීර්ඝ කළ බවත් මන්ත්‍රීවරයා චෝදනා කර තිබිණි.
කෙසේ වෙතත්, කාදිනල් හිමිපාණන් වතිකානුවේ පැවැති සමුළුවකට සහභාගී වීමෙන් පසු ජූලි 3 වන දින දිවයිනට පැමිණි බවත්, එතැන් සිට මේ දක්වා යුද හමුදාපතිවරයා සමඟ කිසිදු හමුවීමක් සිදුවී නොමැති බවත් අගරදගුරු කාර්යාලය ප්‍රකාශ කරයි. එම ප්‍රකාශය අගරදගුරු කාර්යාලය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි.
සංකීර්ණ දේශපාලන වාසි ලබාගැනීම සඳහා රටේ ආගමික සහජීවනය පළුදු වන අයුරින් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවත්, ඒ පිළිබඳව දැනටමත් නීතිඥයින් හරහා නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවත් ගරු සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
















