ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා පරිපාලකයෙකු වූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා අභාවප්‍රාප්ත ඇති බව ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමයේ හිටපු සභාපති උපාලි රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ඔහු මෙරට ක්‍රීඩා පරිපාලනය සවිබල ගැන්වීමට සහ ජාත්‍යන්තර ඔලිම්පික් සබඳතා ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රකට චරිතයකි.
ඔහු 2018 වසරේ සිට 2026 වසරේ මුල් භාගය වන තෙක් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය හෙබවූ අතර, ඔලිම්පික් කමිටු පාලන ප්‍රතිසංස්කරණ සහ පරිපාලනමය අභියෝග රැසකට සාර්ථකව මුහුණ දීමට නායකත්වය ලබා දුන්නේය. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත සමයේ සහ මෙරට පැවැති දැඩි ආර්ථික අර්බුදකාරී වටපිටාව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට රැගෙන යාමට ඔහු දැරූ උත්සාහය කැපී පෙනේ. ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට පත්වීමට පෙර ඔහු ටෙනිස් ක්‍රීඩා පරිපාලනයට ද සක්‍රීයව දායක වූ අතර ආසියානු ටෙනිස් සම්මේලනයේ උප සභාපතිවරයා සහ මහලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, ක්‍රීඩකයින් මෙන්ම දේශීය හා විදේශීය ක්‍රීඩා සංවිධාන රැසක් සිය බලවත් ශෝකය පළකර සිටිති. මීට පෙර ඔලිම්පික් කමිටු රැස්වීම්වලදී ඔහුගේ පෞද්ගලික ධනය පවා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වැය කරමින් ඔහු දැක්වූ දායකත්වය ඇගයීමට ලක්ව තිබුණි. මෙරට ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ක්‍රියා කළ මෙම කීර්තිමත් ක්‍රීඩා පරිපාලකයාගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම්මදීමට නියමිතය.















