පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්රශස්ති ගායනාවන් නොකළ, සමාජ අසීරු අවස්ථාවලදී නොබියව ගීතය අවියක් කරගත් අදීන නිර්මාණ ශිල්පිනියක වන ආචාර්ය **නන්දා මාලිනියගේ** අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ මොහොතේ ඊට එරෙහි වීම නිසා ගුවන් විදුලියේ දොරගුළු වැසුණු ගායක ගායිකාවන් අතර නන්දා මාලිනී පෙරමුණේ සිටි බවත්, රාජ්‍ය මර්දනය හමුවේ ඇතැමෙක් පසුබසිද්දී ඇය තම මතය වෙනුවෙන් නොබියව පෙනී සිටි බවත් ඇය සිහිපත් කර ඇත. විජය කුමාරතුංග අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් මොහොතේ රාජ්‍ය ත්රස්තවාදයට බියේ බොහෝ කලාකරුවන් නිහඬ වෙද්දී, ඇය නොබියව පෙරට පැමිණ තමන්ට මහත් ශක්තියක් වූ බව හිටපු ජනාධිපතිනිය පවසා තිබේ.
කිසිදු විටෙක තමාගේ ප්‍රතිපත්ති පාවා නොදුන්, ඉතා සරල දිවියක් ගත කළ, ඕනෑම අභියෝගයක් මධ්‍යයේ නැගී සිටි මහා පෞරුෂයකට උරුමකම් කියූ කලාකාරිනියක් ලෙස ඇය නන්දා මාලිනිය අගය ඇත. පෞද්ගලික ලාභාපේක්ෂාවන් වෙනුවෙන් වන්දි බට්ටකම් කරන අයට වඩා ඇය කෙරෙහි ඉමහත් ගෞරවයක් ඇති බවද සටහන් කර තිබේ.
“ආචාර්ය නන්දා මාලිනියනි ඔබට නිවන් සුව! ඔබගේ නිර්මාණ භාවිතාව තවත් යුග ගණනාවකට ආලෝකයක් වනු ඇත” යනුවෙන් සඳහන් කරමින් හිටපු ජනාධිපතිනිය සිය ශෝකය ප්‍රකාශ කර ඇත.














