චිලී රාජ්‍යයේ නව ජනාධිපති හෝසේ ඇන්ටෝනියෝ කාස්ට් එරට ආර්ථිකය යළි පණ ගැන්වීම සහ රැකියා ස්ථායීතාව ඇති කිරීම අරමුණු කරගත් යෝජනා 40 කින් සමන්විත දැවැන්ත ප්‍රතිසංස්කරණ මාලාවක් ඊයේ (15) ජාතිය අමතමින් ප්‍රකාශයට පත් කළේය. පසුගිය මාසයේ බලයට පත්වීමෙන් පසු ඔහු විසින් සිදු කරන ලද පළමු විශේෂ ප්‍රකාශය මෙය වීම විශේෂත්වයකි.
මෙම ප්‍රතිසංස්කරණ මාලාවේ ප්‍රධානතම යෝජනාව වන්නේ දැනට 27% ක් ලෙස පවතින ආයතනික බදු අනුපාතය (Corporate Tax Rate) ඉදිරි වසර හතර තුළදී ක්‍රමයෙන් 23% දක්වා අඩු කිරීමයි. මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දීම, නව නිවාස අලෙවියේදී වැට් (VAT) බදු නිදහස් කිරීම සහ වයස අවුරුදු 65 ට වැඩි නිවාස හිමියන් දේපළ බදුවලින් නිදහස් කිරීම වැනි යෝජනා රැසක් මීට ඇතුළත් වේ. ලොව විශාලතම තඹ නිෂ්පාදකයා වන චිලී රාජ්‍යයේ වාර්ෂික ආර්ථික වර්ධනය 4% දක්වා ඉහළ නැංවීම ජනාධිපතිවරයාගේ ඉලක්කය වුවද, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වීම මෙම යෝජනා සම්මත කර ගැනීමට ඔහුට පවතින ප්‍රධාන අභියෝගයකි.














