ඇමෙරිකානු මධ්‍යම බැංකුවේ (Federal Reserve) පොලී අනුපාත ප්‍රතිපත්ති පිළිබඳව වෙළඳපොළ තුළ විවිධ මතවාද පැවතියද, ඇමෙරිකානු ණයකර සඳහා පවතින ඉහළ ඉල්ලුම පෙන්නුම් කරමින් විදේශිකයන් සතු ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර (US Treasuries) ප්‍රමාණය පෙබරවාරි මාසයේදී වාර්තාගත මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත. බදාදා නිකුත් කරන ලද දත්තවලට අනුව, විදේශිකයන් සතු මුළු බැඳුම්කර වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 9.49ක් දක්වා 2.1%කින් වර්ධනය වී තිබේ.
මෙහිදී ජපානය සිය බැඳුම්කර හිමිකාරීත්වය 2022 වසරෙන් පසු ලැබූ ඉහළම අගය දක්වා වැඩිකර ඇති අතර, චීනය සිය ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර නිරාවරණය (Exposure) යම් ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගෙන ඇත. සමස්තයක් ලෙස ශුද්ධ ප්‍රාග්ධන ගලා ඒම (Net capital inflows) සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙය ලෝක ආර්ථිකය තුළ පවතින අවිනිශ්චිතතාව හමුවේ ආරක්ෂිත ආයෝජනයක් ලෙස ඇමෙරිකානු ණයකර කෙරෙහි තවදුරටත් විශ්වාසය පවතින බවට සාක්ෂියකි.













