චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, චීන මහජන සමූහාණ්ඩුව විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආබාධිත පුද්ගලයින් සඳහා රුපියල් මිලියන දෙකක වටිනාකමින් යුත් රෝද පුටු 50ක් පරිත්‍යාග කිරීම පසුගිය ජූනි 05 වන දින සිදු කෙරිණි.
එම අවස්ථාවේදීම පොළොන්නරුව, ඇළහැර අධ්‍යාපන කලාපයේ සරුබිම කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 200ක් සඳහා පාසල් උපකරණ සහ ඔවුන්ගේ දෙමාපියන් 200ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම ද සිදු විය.
මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හෝන් මහතා පවසා සිටියේ, “සැබෑ මිතුරෙකු යනු වැස්සේ කුඩයක් අල්ලාගෙන සිටින අයෙකු” බවත්, ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක උදව් කිරීමට චීනය සැමවිටම සූදානම් බවත්ය. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, චීන රජයේ මෙම උපකාරය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස සිය ගෞරවනීය ප්‍රණාමය පුද කර තිබේ.
මෙම උත්සවය සඳහා චීන තානාපතිවරයා ප්‍රමුඛ තානාපති කාර්යාල නියෝජිතයින්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්ස කුමාර, ඇලහැර ප්‍රාදේශීය සභා සභාපති චමිල ජයනාත් සහ දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















