රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (21) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට අයත් ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් අලුයම 1.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, එහි සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 88,000ක් (දුම්වැටි කාටූන් 440ක්) රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම මගියා ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ නීති විරෝධී ලෙස දුම්වැටි තොගය පිටතට රැගෙන යාමට උත්සාහ කර ඇති බව රේගු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















