නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 32,000ක් සමඟ චීන ජාතිකයින් දෙදෙනෙකු අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත වැටලීම් දෙකක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
එක් වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි 14,000ක් හෙවත් කාටුන් 70ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් වැටලීමේදී දුම්වැටි 18,000ක් හෙවත් කාටුන් 90ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව පොලිස් භාරයට ගෙන ඇති සමස්ත දුම්වැටි ප්‍රමාණය කාටුන් 160කට අයත් දුම්වැටි 32,000කි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 සහ 51 වන චීන ජාතිකයින් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි. මෙම දුම්වැටි මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















